ඔන්න එහෙනම් කලින් කිව්වා වගේම “One Mile” කතා මාලාවේ දෙවැනි සහ අවසන් කොටස වන “One Mile: Chapter 2” සඳහාත් උපසිරැසිය අරගෙන ආවේ කිසිම කම්මැලිකමක් නැතුව මේ කතාවේ ඉතුරු ටික එක දිගටම රසවිඳින්න ඔයාලට අවස්ථාව දෙන්නයි. Adam Davidson ගේ අධ්‍යක්ෂණයෙන් 2026 වසරේ පෙබරවාරි මාසයේ නිකුත් වුණු මේ චිත්‍රපටයටත් Ryan Phillippe, Amélie Hoeferle සහ C. Thomas Howell ඇතුළු පිරිසම රංගනයෙන් දායක වෙනවා. පළමු කොටසේ ඉඳලම තිබුණු ත්‍රාසය සහ කුතුහලය තවත් වැඩි කරමින්, කතාවේ උච්චතම අවස්ථාව තමයි මේ දෙවැනි කොටසින් අරගෙන එන්නේ. කතාව මෙහෙමයි… පළමු කොටසේ අවසානයේදී ඩැනී (Ryan Phillippe) කොහොමහරි ස්ටැන්ලිගේ දාමරිකයන් කිහිපදෙනෙක් එක්ක සටන් කරලා තමන්ගේ දියණියව බේරගන්න සමත් වුණා ඔයාලට මතක ඇතිනේ. ඒත් මේ බිහිසුණු ගමන එතනින් ඉවර වෙන්නේ නෑ. තමන්ගේ කල්ලියේ අයට වුණු විනාශය නිසා දැඩි කෝපයට සහ පළිගැනීමේ චේතනාවට පත්වෙන ස්ටැන්ලි ඩැනී පසුපස හඹා එනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහු නැවත වතාවක් ඩැනීගේ දියණියව පැහැරගන්න සමත් වෙනවා. මේ නිසා තමන්ගේ දුවව සදහටම අහිමි වෙන්න කලින්, මේ කුරිරු වනගත කල්ලියට සහ එහි නායකයාට එරෙහිව තීරණාත්මක සහ අවසන් සටනක් දියත් කරන්න ඩැනීට සිද්ධ වෙනවා. ඇයි මේක බලන්න ඕනේ? පළමු කොටසට වඩා දරුණු සටන් ජවනිකා, වෙඩි හුවමාරු සහ ත්‍රාසජනක සිදුවීම් රැසකින් මේ දෙවැනි කොටස සමන්විතයි. මේ දරුණු කල්ලියෙන් සදහටම ගැලවෙන්න ඩැනී සහ ඔහුගේ දියණියට පුළුවන් වෙයිද? නැතිනම් මේ කෲර සමාජය ඇතුළේ ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයිද කියන කුතුහලය චිත්‍රපටය අවසන් වෙනකම්ම රැඳිලා තියෙනවා. පළමු කොටස බැලුවා නම් අනිවාර්යයෙන්ම මගහැරගන්නේ නැතුව මේ චිත්‍රපටයත් බලන්න කියලා Action ෆිල්ම් වලට ආදරය කරන හැමෝටම ආරාධනා කරනවා එහෙනම් හැමෝමට ජයවේවා…නැවත මේ වගේ උපසිරැසියක් සමගින් හමුවෙමු!!