Sore: Istri dari Masa Depan” කියන්නේ ප්‍රේක්ෂක හදවත් ගොඩක් තදින් ස්පර්ශ කරන, වෙනස්ම විදිහේ කතා තේමාවක් තියෙන අතිශය ජනප්‍රිය ඉන්දුනීසියානු නිර්මාණයක්. මේ කතාව ගෙතෙන්නේ ක්‍රොඒෂියාවේ ජීවත් වෙන, තමන්ගේ අතීතය සහ පියා එක්ක ලොකු තරහකින් ජීවත් වෙන ‘ජොනතන්’ (නැත්නම් ජෝ) කියන ඡායාරූප ශිල්පියා වටායි. ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව, සිගරට් සහ මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න ජෝගේ ජීවිතේට එකපාරටම අමුතුම විදිහේ ගෑනු ළමයෙක් කඩාපාත් වෙනවා. ඇය නමින් ‘සෝර්’. ඇය කියන්නේ තමන් අනාගතයේ ඉඳන් ආපු ජොනතන්ගේ බිරිඳ කියලයි. එතනින් පස්සේ මේ දෙන්නාගේ ජීවිත වෙනස් වෙන අපූරු ආදර කතාව ආරම්භ වෙනවා. සෝර් අනාගතයේ ඉඳන් එන්නේ විශේෂ හේතුවක් ඇතුවයි. ඒ තමයි ජොනතන්ගේ තියෙන මේ වැරදි පුරුදු සහ කේන්තිය නිසා තව අවුරුදු අටකින් ඔහුට හෘදයාබාධයක් හැදිලා මියයන්න තියෙන එක නවත්වලා, ඔහුගේ ජීවිතය ලස්සන කරන එක. ජොනතන්ගේ මුරණ්ඩුකම් එක්ක ඔහුට අලුත් ජීවිතයක් පුරුදු කරන්න සහ ඔහුගේ පියාට සමාව දෙන්න සෝර් දරන උත්සාහය මේ කතාව පුරාම හරිම සංවේදීව පෙන්නලා තියෙනවා. නිකම්ම නිකන් ආදර කතාවකට එහා ගියපු මේ නිර්මාණය ඇතුළේ, දේශගුණික විපර්යාස, කාලය සහ සමාන්තර ලෝක ගැනත් හරිම ලස්සන, ගැඹුරු අදහස් ටිකක් ප්‍රේක්ෂකයාගේ මනසට එකතු කරනවා. කෙනෙක්ව යහපත් විදිහට වෙනස් කරන්න පුළුවන් බයට වඩා ‘ආදරයට’ කියන එක මේ කතාවෙන් අපූරුවට ඔප්පු කරලා පෙන්වනවා. මේ කතාව මේ තරම්ම ලස්සන වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේකේ තියෙන හදවතට වදින දෙබස්. “හැන්දෑවට මෙච්චර ආදරේ කරන්න ලේසි ඇයි…”, එහෙමත් නැත්නම් “මට දහදාස් වතාවක් ආයෙත් ජීවත් වෙන්න ලැබුණත්, මම හැමදාමත් ඔයාවම තෝරගනීවි” වගේ හැඟීම්බර දෙබස් සහ දර්ශන මේ කතාවේ ඕනෑතරම් තියෙනවා. ඒ වගේම ක්‍රොඒෂියාවේ සහ ආක්ටික් ප්‍රදේශවල ලස්සන පරිසරයත් කතාවට ලොකු ආලෝකයක් එකතු කරනවා. ඔයාගේ හදවතට දැනෙන, ජීවිතේ ගැන ආයෙත් සැරයක් හිතන්න යමක් ඉතුරු කරන, අර්ථවත් මෙන්ම වෙනස්ම විදිහේ ආදර කතාවක් හොයනවා නම් Sore කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කතාවක්. සෝර් සහ ජොනතන්ගේ මේ අපූරු ආදර කතාව ඔයාගේ හිතෙත් ගොඩක් කල් නොමැකී තියේවි! තවත් ලස්සන කතාවකින් හමුවෙමු. *-* ජය ශ්‍රී *-*